Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ සාහිත්‍ය මාසය ගෙවෙන්නේ මෙහෙම යි

ෆ්‍රැන්සිස් බේකන් නම් ඉංග්‍රීසි ජාතික පඬිවරයා විසින් කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන කියමන ප්‍රකාශයට පත්කළේ මීට සියවස් ගණනාවකට පෙර යි. එලෙස බේකන් විසින් ප්‍රකාශයට පත්කළ කියමන එදාට මෙන්ම අදටත් වලංගු යි. එම නිසා බොහෝ දෙනෙකු පොත් කියවීම ඔවුන්ගේ විනෝදාංශය බවට පත්කරගෙන තිබෙනවා. එසේ පොත් කියවීම තම විනෝදාංශය කරගත් අය සැප්තැම්බර් මාසය හෙවත් සාහිත්‍ය මාසය එන තුරු උනන්දුවෙන් බලා සිටිනවා. ඒ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන නිසා යි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය

සැප්තැම්බර් මාසයේ 18 වැනිදා සිට 27 වැනිදා දක්වා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී යි. පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 22 වැනි වරට යි. 1999 වසරේ දී මුල්ම වරට පැවැත්වුණු මෙම පොත් ප්‍රදර්ශනය අඛණ්ඩව වසර 22ක් පුරාවට පැවැත්වුණා. මෙම ප්‍රදර්ශනය සඳහා ලංකාවේ ප්‍රසිද්ධම පොත් සමාගම් සියල්ලම වාගේ සහභාගි වනවා. එසේම රජයේ සමහර ආයතන ද ඔවුන්ගේ ප්‍රකාශන අලෙවි කිරීම සඳහා කුටි වෙන්කරගෙන තිබෙනවා. මහ බැංකුව, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ඊට උදාහරණ ලෙසින් දැක්විය හැකියි. මෙවැනි පොත් ප්‍රදර්ශනයකින් පොත් මිල දී ගැනීමේ දී ඉතාමත් ඉහළ වට්ටම් හිමිවනවා. එසේම සමහර ගත් කතුවරුන් මෙම ප්‍රදර්ශන භූමිය තුළ රැඳී සිටින නිසා පාඨකයන්ට ඔවුන්ව මුණ ගැසීමේ අවස්ථාව හිමිවනවා. සෑම වසරකම සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනය නිසා පොත් කියවීමට පුරුදුව සිටින බොහෝ දෙනෙකුට විශාල වශයෙන් ප්‍රතිලාභ ලැබෙනවා. 

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය (Sri lankan Mirror)

සාහිත්‍ය මාසයේ දී පිරිනමන ප්‍රධාන සම්මාන 

1956 වසරේ දී බලයත් පත් බණ්ඩාරනායක රජය සංස්කෘතික අමාත්‍යාංශයක් පිහිටවනු ලැබුවා. ඉන් වසර 3කට පසුව ලංකාවේ මුල්ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ආරම්භ වුණා. එදා සිට අද දක්වා අඛණ්ඩව එම සම්මාන උළෙල පැවැත්වීම ඉතාමත් සුවිශේෂී සිදුවීමක් ලෙසින් දැක්විය හැකියි. 1998 වසරේ දී ගොඩගේ ග්‍රන්ථ ප්‍රකාශන සමාගම විසින් ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල ලෙසින් නව සම්මාන උළෙලක් ආරම්භ කළා. එම සම්මාන උළෙලත් පසුගිය වසර 22ක තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වුණේ මෙරට සාහිත්‍යකරුවන්ට දිරියක් ලබාදෙමින්. පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ කළේ 1999 වසරේ දී යි. එම ප්‍රදර්ශනය ආරම්භ කර වසර 8ක් ගතවන විට එම ප්‍රදර්ශනයට සමගාමීව ස්වර්ණ පුස්තක සම්මානය නමින් සම්මානයක් පිරිනැමීම ආරම්භ කළා. ඒ අනුව සාහිත්‍ය මාසයේ දී ප්‍රධාන වශයෙන් සාහිත්‍ය සම්මාන උත්සව 4ක් පැවැත්වෙනවා. එමඟින් මෙරට සාහිත්‍යකරුවන්ට නිර්මාණ සිදුකිරීම සඳහා හොඳ පන්නරයක් ලැබෙනවා.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල (හොඳම නවකතාව)

1957 වසරේ දී මෙරට මුල්ම රාජ්‍ය සාහිත්‍ය උළෙල කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ දී පවත්වනු ලැබුවා. ඉන් වසර 2කට පසුව එනම් 1959 වසරේ දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ආරම්භ වුණා. එදා සිට අද දක්වා පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ දී බොහෝ දෙනෙකුගේ අවධානය හිමිවන්නේ හොඳම නවකතාව සඳහා සම්මානය දිනාගන්නා කෘතිය පිළිබඳව යි. එදා සිට අද දක්වා නම් දැරූ ගත් කතුවරුන් රැසක් එම සම්මානය දිනාගෙන තිබෙනවා. 1968, 1994, සහ 2004 යන වසරවල මෙම සම්මානය පිරිනමා නැහැ. එසේම වසර 11ක දී දෙදෙනෙලුට මෙම සම්මානය පිරිනමා තිබෙනවා. එහි දී වැඩිම වාරයක් මෙම සම්මානය දිනාගත්තේ කේ ජයතිලක යි. ඔහු 1963, 1966, 1972, 1975, සහ 1980 යන වසරවල දී  එම සම්මානය දිනාගෙන තිබෙනවා.  පහත දක්වා තිබෙන්නේ 1959 වසරේ සිට 2019 වසර දක්වා රාජ්‍ය සම්මාන උළෙලේ දී හොඳම නවකතාවට හිමි සම්මානය ලබාගත් කතුවරුන් පිළිබඳව යි. 

1959 ගිනි සිසිල – පි.නිශ්ශංක

1960 මල ගිය ඇත්තෝ – එදිරිවීර සරච්චන්ද්‍ර‍

1961 පෙත්සම – ලීල් ගුණසේකර

1962 ගොළු හදවත – කරුණාසේන ජයලත්

1963 චරිත තුනක් – කේ. ජයතිලක

1964 හෙවනැලි ඇද මිනිස්සු – සුනන්ද මහේන්ද්‍ර‍

1965 බව දුක – කාශ්‍යප පෙරේරා

1966 පිතා මහ – කේ. ජයතිලක

1966 ගැහුණු ළමයි – කරුණාසේන ජයලත්

1967 වර දත්ත – ජී.බී.සේනානායක

1969 පස් අවුරුද්ද – ඔරුවල බන්දු

1970 ඉක්බිති සියල්ලෝම සතුටින් ජිවත් වුහ – සුගතපාල ද සිල්වා

1970 නටබුන් මත හැදු ගෙයක් – කේ.ජි.ප්‍රේමරත්න

1971 අස්වැන්න – ජයසේන ජයකොඩි

1971 ගේ කුරුල්ලෝ – ආර් ආර් සමරකෝන්

1972 පුංචිරාළ – කේ ජයතිලක

1972 මවකගේ ගීතය – සෝමවීර සේනානායක

1973 රිදී නිම්නය – කරුණාසේන ජයලත්

1974 අවරගිර – ජි.බි.සේනානායක

1975 මතු සම්බන්ධයි – කේ.ජයතිලක

1976 කැකෑරිල්ල – ජි.බි.සේනානායක

1977 පර සතුරෝ – ජයසේන ජයකොඩි

1978 යශෝරාවය – සෝමවීර සේනානායක

1979 හේ සිද්ධාර්ථ නම් වෙයි – කෝ.ආනන්ද හිමි

1979 සෙබළ කුමරිය – මහානාම දිසානායක

1980 රාජපක්ෂ වලව්ව – කේ.ජයතිලක

1980 සදා මෙලෙස පුර දෙරණේ – ඒ.වී.සුරවීර

1981 දළ රළ පෙළ – සුමිත්‍රා රාහු බද්ධ

1982 පාළම යට – කුලසේන ෆොන්සේකා

1982 පමා නොවී එමි අකුරට – මිණිවන් පි තිලකරත්න

1983 මැණික් නදිය ගලා බසී – සෝමවීර සේනානායක

1984 කුමාරිහාමි – ජයකොඩි සෙනෙවිරත්න

1984 මිහි සරණ – ඇරැව්වල නනදිමිත්‍ර‍

1985 කතිරිනාගේ සනුහරේ – ගුණසිංහ හෙට්ටිආරච්චි

1986 සුදු සෙවනැලි – පියදාස වැලිකන්නගේ

1987 සුජාත පුත්‍ර‍යින්ගේ කතා වස්තුව – අනුලා විජේරත්න මැණිකේ

1988 රයිගම් පුත්තු – ජයසේන ජයකොඩි

1989 විලාසිනියකගේ ප්‍රේමය – එදිරිවීර සරච්චන්ද්‍ර‍

1990 පැලෑනෙන් වෙන් කළ ඉඩම් – විරපොකුනේ උපරතන හිමි

1991 පරාභවය – එච්.ඒ.සෙනෙවිරත්න

1992 ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි – එන්.ටි. කරුණාතිලක

1992 ගිනි – ඇරැව්වල නන්දිමිත්‍ර‍

1993 ජීවක කුලයක් – විරපොකුනේ උපරතන හිමි

1995 රෝගීන් මැද නිරෝගීව – රත්නායක තිලකරත්න

1996 කන්දක් ගිනි ඇවිලෙන්නේ – ලාංගනී ප්‍ර‍නාන්දු අබේදීර

1996 මතක වස්ත්‍ර‍ – ඤාණවිපුල මුණසිංහ

1997 තිදස – සේපාලි මායාදුන්නේ

1998 සංසාරාරණ්‍ය අසබඩ – සයිමන් නවගත්තේගම

1999 කටු ඉඹුල – සරත් ධර්මසිරි

2000 රිදී තිරන්ගනාවී – සුනේත්‍රා රාජකරුණානායක

2001 නිරුවත් දෙවිවරු – සුනන්ද මහේන්ද්‍ර‍

2002 විතන්ඩ සමය – එරික් ඉලයප්ප ආරච්චි

2003 සදත් විල මහා සුභද්‍රාවෝ – සේන තෝරදෙණිය

2005 කෙලෙස් පර්වත – සමරවීර විජයසිංහ

2006 ප්‍ර‍භානි – බටුවන්ගල රාහුල හිමි

2007 කලකිනි ගනඳුරු වියැකී යන්නේ – සෝමසිරි ලියනගේ

2008 අටවක පුත්තු – ලියනගේ අමරකීර්ති

2009 පොදු පුරුෂයා – සුනේත්‍රා රාජකරුණානායක

2010 කන්දක් සේ මා – සුමිත්‍රා රාහුබද්ධ

2011 කවි කඳුර – සුනේත්‍රා රාජකරුණානායක

2011 චුම්බන කන්ද – ජයතිලක කම්මැල්ලවිර

2012 නයි ගලින් උපන් පුත්‍ර‍යෝ – බටුවන්ගල රාහුල හිමි

2013 සෙන්කොට්ටන් – මහින්ද ප්‍ර‍සාද් මස්ඉඹුල

2014 කාල නදිය ගලා බසී – නෝබට් අයගමගේ

2015 බණ්ඩාර මැරූ උන් – සේන තෝරදෙණිය

2016 දූල්වල අලංකාරේ – සුමුදු නිරාගි සෙනෙවිරත්න

2017 ගරුඩ මුහුර්තය – කීර්ති වැලිසරගේ

2018 යකඩ සිල්පර – විමල් උදය හපුගොඩ ආරච්චි

2019 මකරානන්දය – විරාජිනී තෙන්නකෝන්

කේ ජයතිලක (Transylvania)

මෙම සම්මානයට අමතරව තවත් සම්මාන 20ක් මෙම සම්මාන උළෙලේ දී පිරිනමනු ලබනවා. රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය විසින් එම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන බව මෙහි දී සඳහන් කළ යුතු යි. 

ගොඩගේ සම්මාන උළෙල (හොඳම නවකතාව)

ගොඩගේ සම්මාන උළෙල මුල්ම වරට ආරම්භ වුණේ 1998 වසරේ දී යි. මුල්ම සම්මාන උළෙලේ දී සම්මාන ප්‍රදානය කළේ ගොඩගේ ග්‍රන්ථ ප්‍රකාශන සමාගම මඟින් ප්‍රකාශයට පත්කරන ලද ග්‍රන්ථ සඳහා පමණ යි. සේන තෝරදෙනිය සහ ටෙනිසන් පෙරේරා යන විද්වතුන් එම සම්මාන උළෙල පැවැත්වීම සඳහා මූලිකත්වය ගත්තා. ඒ වන විට ලංකාව තුළ ක්‍රියාත්මක වුණු ප්‍රධානතම සාහිත්‍ය සම්මාන උළෙල වුණේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල යි.  එම නිසා ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල ආරම්භ වීම මඟින් මෙරට සාහිත්‍යකරුවා වඩාත් දිරිමත් වුණා. ආරම්භයේ දී ගොඩගේ ප්‍රකාශන සඳහා පමණක් පිරිනැමුණු මෙම සම්මානය 2000 වසරේ සිට ඕනෑම ග්‍රන්ථ ප්‍රකාශන සමාගමකින් නිකුත්වන ග්‍රන්ථයකට ලබාදීම ආරම්භ වුණා. එම කාර්යය සඳහා මැදිහත් වුණේ සේන තෝරදෙනිය සහ ටෙනිසන් පෙරේරා යන විද්වතුන් දෙදෙනා යි. එදා සිට අද දක්වා ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල ඉතාමත් සාර්ථකව පැවැත්වුණා. එම නිසා අද වන විට රාජ්‍ය සාහිත්‍ය සම්මාන උත්සවය හැරුණු කොට සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම ලියන සාහිත්‍ය කරුවන්ට සම්මාන ලබාදෙන එකම ප්‍රධාන සාහිත්‍ය සම්මාන උළෙල වන්නේ ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල යි. 2020 ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ දී හොඳම නවකතාව සඳහා හිමිවන ඩබ්ලිව්. ඒ. සිල්වා අනුස්මරණ සම්මානය දිනාගත්තේ සුනේත්‍රා රාජකරුණානායක විසින් රචිත නිෂ්ක්‍රාන්තිය නවකතාව යි.

ගොඩගේ සමාගමේ අධිපති සිරිසුමන ගොඩගේ (Daily News)

ස්වර්ණ පුස්තක සම්මානය 

ස්වර්ණ පුස්තක සම්මානය පිරිනමනු ලබන්නේ ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සම්මානය විසින් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව යි. එම සම්මානය මුල්මවරට පිරිනමන ලද්දේ 2007 වසරේ දී යි. එම වසරේ දී ග්‍රන්ථ 5කට සම සම්මානය හිමි වුණා. නමුත් 2008 වසරේ සිට එක් ග්‍රන්ථයකට පමණක් මෙම සම්මානය හිමිවුණා. පහත දක්වා තිබෙන්නේ 2007 වසරේ සිට 2019 වසර දක්වා ස්වර්ණ පුස්තක සම්මානය දිනාගත් ග්‍රන්ථ පිළිබඳව යි.

2007- කන්ද පාමුල – කරුණාදාස සූරියආරච්චි 

          චන්ද්‍රරත්නගේ භවාන්තර චාරිකා – දයා දිසානායක

          ගංතෙර තෙරණිය – ඇ‍රැව්වල නන්දිමිත්‍ර 

          කිඳුරා ගොසින් වැ‍ටුනයි පුර මඬුල්ලේ – කරුණාධීර අල්විස් 

          තරු බඹසර – රූපා ශ්‍රියාණි ඒකනායක 

2008 – ස්වයංජාත – සමරවීර විජේසිංහ

2009 – පොදු පුරුශයා – සුනේත්‍රා රාජකරුණානායක

2010 – කන්දක් සේමා – සුමිත්‍රා රාහුබද්ධ

2011 – කවිකදුර – සුනේත්‍රා රාජකරුණානායක

2012 – සිටුවර පුවත – රූපා ශ්‍රියානි ඒකනායක

2013 – කාල සර්ප – කීර්ති වැලිසරගේ

2014 – කුරුලු හදවත – ලියනගේ අමරකීර්ති

2015 – රණ් කරඩුව – බටුවන්ගල රාහුල හිමි

2016 – අහම්බකාරක – ලියනගේ අමරකීර්ති

2017 – හද පළුව තනි තරුව – නිශ්ශංක විජේමාන්න

2018 – අප්පච්චි ඇවිත් – සමන් වික්‍රමාරච්චි

2019 – අදිසි නදිය – කපිල කුමාර කාලිංග

2020 වසරේ දී ස්වර්ණ පුස්තක සම්මානයේ අවසන් වටය සඳහා පහත සඳහන් ග්‍රන්ථ 5 සුදුසුකම් ලබාගත්තා. 

1) පේත- එරික් ඉලයප්ආරච්චි 

2) තී හා තා- සුරත් ද මැල් 

2) කුමර කොබෙයි- ශමෙල් ජයකොඩි 

4) නිශ්ක්‍රාන්තිය- සුනේත්‍රා රාජකරුණානායක 

5) රතු ඉරි අඳින අත- ලියනගේ අමරකීර්ති 

ඉහත ග්‍රන්ථ 5 අතුරින් මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හිමිවුණේ එරික් ඉලයප්ආරච්චි විසින් රචිත පේත නම් ග්‍රන්ථයට යි.

එරික් ඉලයප්ආරච්චි (Wikipedia)

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය

ඉහත සම්මාන උළෙලවලට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වාර්ෂිකව සම්මාන උළෙලක් සංවිධානය කරනවා. විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල නමින් හඳුන්වනු ලබන එම සාහිත්‍ය සම්මාන උළෙල මෙවර පවත්වනු ලැබුවේ 12 වැනි වරට යි. මෙවර සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම නවකතාවට හිමි සම්මානය ප්‍රදානය කළේ එරික් ඉලයප්ආරච්චිගේ පේත නවකතාවට යි.

කවරයේ ඡායාරූපය- Yamu

Related Articles